ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම්: සත්‍යය, යුක්තිය සහ වගවීම ඉදිරියට ගෙන යාම

 විධායක සාරාංශය

බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම් ශ්‍රී ලංකාවේ නොවිසඳුනු මානව හිමිකම් අභියෝගයක් ලෙස පවතී.

1971 නැගිටීම, 1987–1989 කැරැල්ල, සිවිල් යුද්ධය (1983–2009) සහ එහි ප්‍රතිඵල ඇතුළු කාල පරිච්ඡේද කිහිපයක් තුළ අතුරුදහන් කිරීම් සිදු විය. අතුරුදහන් වූ සහ අතුරුදහන් වූවන්ගේ ඇස්තමේන්තු ආසන්න වශයෙන් 40,000 සිට 150,000 දක්වා පරාසයක පවතින අතර, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සදහන් කරන්නේ  ආසන්න වශයෙන් අතුරුදහන්වීම් 16,000–21,000 කි.

නීතිමය ප්‍රතිසංස්කරණ සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වැනි ස්ථාපිත ආයතන තිබියදීත්, අර්ථවත් ප්‍රගතිය සීමිතය. බාධක ව්‍යවස්ථාදායකයට වඩා දේශපාලනික ය. ගැටුම පිළිබඳ ප්‍රතිවිරුද්ධ ආඛ්‍යාන, සන්නද්ධ හමුදා සඳහා වගවීම පිළිබඳ උත්සුකයන් සහ දුර්වල ආයතනික ස්වාධීනත්වය දණ්ඩ මුක්තියට දායක වී ඇත.

ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවය අතිරේක කැපවීම් සුරක්ෂිත කර ගැනීමේ සිට පවතින බැඳීම් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම දක්වා මාරු විය යුතුය. ජාත්‍යන්තර මැදිහත්වීම තුළ තිරසාර දේශපාලන පරීක්ෂාව, ජාතික වශයෙන් හිමිකාරීත්වය දරන ප්‍රතිසංස්කරණ සඳහා දිරිගැන්වීම්, තාක්ෂණික සහාය, සිවිල් සමාජය සඳහා සහාය සහ මැනිය හැකි මිණුම් සලකුණු ඒකාබද්ධ කළ යුතුය.

ප්‍රධාන ප්‍රතිපත්ති අභියෝග

  1. පවුල් සඳහා නිරන්තර අවිනිශ්චිතතාව

අතුරුදහන් වූවන්ගේ පවුල්වලට ඔවුන්ගේ ඥාතීන්ගේ ඉරණම පිළිබඳ විශ්වාසදායක තොරතුරු තවමත් නොමැත. රාජ්‍ය-සත්‍යාපිත ලේඛනයක් නොමැතිකම මූලික බාධාවක් ලෙස පවතී.

  1. දුර්වල වගවීමේ යාන්ත්‍රණ

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලය සහ අනෙකුත් දේශීය යාන්ත්‍රණ ස්වාධීනත්වය, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් විවේචනවලට මුහුණ දී ඇත. වින්දිතයින්ගේ සංවිධාන සමඟ වූ  උපදේශන සීමිතවීමෙනුත් සහ ප්‍රමාණවත් විශ්වාසයක් තොරවීම නිසාද කලින් කළ  මුලපිරීම් ද  දුර්වල විය.

 3. අධිකරණ වෛද්‍ය සහ සාක්ෂි සීමාවන්

සැක සහිත සමූහ මිනීවළවල් 30 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. දුර්වල අධිකරණ වෛද්‍ය ධාරිතාව, ගොඩගැනීම් ප්‍රමාද වීම සහ සීමිත ඩීඑන්ඒ (DNA) හඳුනා ගැනීම් බොහෝ වින්දිතයින් හඳුනා ගැනීම වළක්වා ඇති අතර අපරාධ පරීක්ෂණ සීමා කර ඇත.

  1. දේශපාලන ධ්‍රැවීකරණය

වගවීම බෙහෙවින් දේශපාලනීකරණය වී ඇත.  සිංහල බහුතරයේ කොටස් තුළ එවැනි විමර්ශන, හමුදවට සහ ජාතික ස්වෛරීභාවයට එල්ල වන ප්‍රහාර ලෙස සැලකිය හැකි අතර, බොහෝ දෙමළ පවුල් දේශීය යාන්ත්‍රණවල අසාර්ථකත්වය හේතුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීම අත්‍යවශ්‍ය යැයි සලකති. මෙම බෙදීම, බෙදාගත හැකි සහ සාමූහික ජාතික ප්‍රවේශයකට බාධා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ප්‍රතිපත්ති නිර්දේශ

  1. ජාත්‍යන්තර නිරීක්ෂණය පවත්වා ගැනීම සහ ශක්තිමත් කිරීම.

විශ්වසනීය ජාතික යාන්ත්‍රණයක් නොමැති තාක් කල් – උල්ලංඝනයන් ලේඛනගත කිරීම, සාක්ෂි සංරක්ෂණය කිරීම සහ අනාගත වගවීමේ ක්‍රියාවලීන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය සඳහා ශක්තිමත් වරමක් රඳවා ගැනීම.

  1. ශ්‍රී ලංකාව සමඟ තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීම.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණ, ඩීඑන්ඒ (DNA) හඳුනා ගැනීම, ලේඛනාගාර සංරක්ෂණය සහ සාක්ෂි කළමනාකරණය සඳහා ධාරිතා වර්ධනයට ප්‍රමුඛත්වය දීම.

  1. ආයතනික ස්වාධීනත්වය ශක්තිමත් කිරීම.

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය මෙන්ම නව සත්‍ය සහ සංහිඳියා කොමිසමක (TRC) ස්වාධීනත්වය, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි කරන ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම.

  1. වින්දිතයින්ගේ සහභාගීත්වය සහතික කිරීම.

අධීක්ෂණ සහ වගවීමේ යාන්ත්‍රණයන්හි පවුල් සහ වින්දිතයින්ගේ සංවිධාන සඳහා අර්ථවත් සහ ස්වාධීන නියෝජනයක් සහතික කිරීම.

මිණුම් සලකුණු

  • අතුරුදහන් වූවන්ගේ විශ්වසනීය ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීම සහ නිතිපතා යාවත්කාලීන කිරීම;
  • තනි නඩු සම්බන්ධයෙන් අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ (OMP) විසින් විනිවිද පෙනෙන වාර්තාකරණයක් පවත්වා ගෙන යෑම;
  • අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සහ ඩීඑන්ඒ (DNA) හඳුනාගැනීම් වැඩිදියුණූ කිරීම;
  • හමුදා, පොලිස් සහ පරිපාලන වාර්තා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම;
  • සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීම ඵලදායී කිරීම;
  • වින්දිතයින්ගේ සංවිධානවල අර්ථවත් සහභාගීත්වය;
  • අපරාධ පරීක්ෂණ සහ නඩු පැවරීම්වල ලේඛනගත ප්‍රගතිය සහ
  • විශ්වසනීය වන්දි රාමුවක් ක්‍රියාත්මක කිරීම.

නිගමනය

ප්‍රගතිය තවදුරටත් මැනිය යුත්තේ ප්‍රධාන වශයෙන් නව නීති හෝ ආයතනික කැපවීම් මගින් නොව, අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා දැනෙන වැඩිදියුණු කිරීම් මගිනි. සත්‍යය ප්‍රතිසාධනය, වන්දි සහ වගවීම පිළිබඳ විශ්වාසදායක ක්‍රියාවලියක් අතීත උල්ලංඝනයන් විසඳීමට පමණක් නොව, මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට, පුනරාවර්තනයවීම වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රතිසන්ධානයට සහාය වීමට ද අත්‍යවශ්‍ය වේ.

(ජර්මනිය පාදක කරගත් ශ්‍රී ලංකා ු ඇඩ්වොකසි ු ආයතනය විසින් ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්ති ලේඛනයක සිංහල පරිවර්ථනයයි.)

Archive

Latest news

Related news